Monday, August 29, 2016

කැමති විදිහකට හිතාගත්ත හැකිනේ බලං යනකොට....

පිකාසොගේ චිත්‍රයක් දිහා බලාගෙන ඇස් උඩ ඉන්දගෙන කල්පනා කරන මිනිස්සු අතරේ ඉන්දියාවේ "බිම්බෙක්ටා" ගල් පියස්සේ බයිසන් ගවයා ඇන්දේ මගෙ දෝණි වගේ අතට අහුවෙන ඕනෙම දෙකින් චිත්‍රයක් අදින හෝ  කුරුටු ගාන පොඩි එකෙක් නොවේදැයි හිතන මනසකින් මම පොහොසත්.
එහෙම හිතන මට හඳේ ආවාට අස්සේ දිග කන් තියෙන දම්පාට හාවෙක් පේන එකේ පුදුමයක් නැ කියලයි මං හිතන්නේ. එහෙම හිතන මට මර්වින් පෙරේරා ශුරින් ගායනා කළ සඳ මිදුලට එනවා  ගීතය ගායනා  වෙන්නේ ඔය හඳේ හාවිට කියලා හිතෙන එක , එහෙම බැලුවම කොහොමටත් පුදුමයක් නෙවෙයි. (හරි ඉතිං මෙයාට පිස්සු කිව්වට , බුදු හාමුදුරුවෝ දේශනා කලේ නානත්ත කායෝ නානත්ත සංඤා කියලා නේ..." ) ආවා මෙතන මට පිස්සු කියන්න  :)
ඉතිං ඔන්න ඔහොම මට ලියන්න හිතුනේ මං ලියපු සමහර ලියවිලි වලට  ඔබ දෙන අර්ථ නිරූපණ වෙලාවකට මාව පුදුම කරවන හින්දා වගේම ඒ අර්ථයන් මං පුදුම විදිහට රස විදින නිසා.
මම ලියපු ඔබ වෙනස්ම විදිහට විදපු නිර්මාණ කීපයක් ගැන මට හිතුනා කතා කරන්න . මේ ඉන් එකක්
හරි සීතලයි , ඔව් තාම තරුණයි ආදරේ....

මේ කියවෙන සිහින් දිගැටි
හරි ගැඹුරු
ඇහි පියල්ලක් යට

කියන වචන වලින් ඇත්තටම මම කතා කලේ ඇසේ හැඩය හෙවත් U නළයක හැඩය..  ඇස කෙමියෙන් කදුළු උනනවා වගේ අසමාන බාහු සහිත U නළාකාර නළ පද්දතියකින් අදටත් ක්‍රියාත්මක වන සීගිරියෙ වතුර මල් හෙවත් Fountain system එක ගැන.  පාරිසරික සාධක වලින් අඩපණ වන මුත් යලිත් පණ ගැහෙන විශ්වකර්ම නිර්මාණයක් ගැන.

ආදරය ප්‍රකාශ වෙන්නේ වචන වලින් විතරමද...... ආදරය දැනෙන්නේ සතා සිව්පාවට විතරමද....
ගහ කොළට - කොන්ක්‍රීට් වලට ඒ ආදරේ දැනෙන්නේ නැ නෑ මද......??

කථා කරන්න රණ්ඩුවෙන්න බැරි නිසොල්මනේ ඔහේ ඉන්න ඔය හැමෝටම පේන අජීවී ඇත්තෝ මට හරිම සජීවීව දැනෙනවා... ඒ කතන්දර මට ඇහෙනවා 
ඒ නිසාමයි මෙහෙම ලියවුනේ 
නැගෙන රළට පවා පෙම් බදින යලිත් ඔබේම කරගන්න ඔබ මහම මහ මුහුදක්.... :)

සෙනෙහසක් මෙතරම්
ගැඹුරු මහ මුහුදක් තරම්
නිසල මුත් අරණක් තරම්
සසලය දරුණු  සුනාමිය තරම්

මේ ලියවෙන්නේ උඩවළව ජලාශය ගැන.... 
ඇත්තටම මුහුදක් කියන්නේ හිත නිවාගන්න ඔසුවක් තරමට මට දැනෙන දෙයක්... මං මුහුදට මහ ගොඩක් ආදරෙයි.... එත් සුනාමිය ඇවිත් කරපු වින්නැහිය හින්දම මුහුදක් ලගින් යන්නත් බයයි..... එත් මං ආදරෙයි... එහෙම මට උඩවළව පේන්නෙත් මහ මුහුදක් වගේ.... ඒ ලස්සන දිය කද ජිවිත වාහන පිටින් ගිලගත්තු බව ඇහුවම මං ආයෙත් අතරමන් උනා හරියට සුනාමියකට අහුවුණු ගානටම...... ඉතිං මේ ඒ කම්පනය සහ කැමැත්ත අතර මගේ සිතුවිළි දෝලනය.... 
මෙහෙම ලියන එක , රසවිදින්නට බාදාවක් යන්න මගේ හැගීම. කවියකට , ලියවිල්ලකට පුළුවන්නම් කියවන්නාගේ වෙන්න එයයි සාර්ථකත්වය... තැනින් තැන මතුවන කුකුස නිසාම මට හිතුනා කවියක් කියන්නෙත් , ලියවිල්ලක් යන්නත් අතර නිහඬ සිතුවමක කැ ගසන නිහඬ  වන කතා කරන නොකරණ ලකුණු මහ ගොඩක් රචකයාට ත් වඩා පාඨක සිතුවිළි වලින් මැවෙන බව පෙන්වන්න. ඇත්තටම රචකයෙකුට වඩා ඒ නිසාම පාඨකයා නිර්මාණශීලි..... 

මේ ලියමන, අති දක්ෂ චිත්‍ර ශිල්පිණියකගේ අදහසකින් මං ඉවර කරනවා... ඇය  අතින් නිමැවුණු හරි ලස්සන සිතුවමක් දිහා දින ගණනක් බලා ඉදලා මං ඇහුවා "මෙහි පාදකවූ සිතුවිල්ල කුමක්ද" සරල සුන්දර හිනාවකින් අය මට පිළිතුරු දුන්නා... "මා කරන්නේ විවිධ වර්ණ සමබරව යොදා ගැනීම පමණමයි....." (හැබැයි ඒ වෙනකොටත් මම ඒ සිතුවමේ උඩ රට නැට්ටුවන් ද තව කෙනෙක් ballet එකක්ද දැක අවසන්... :) )

මේත් එවන් නිමවුමක් 


නිර්මාණයක  අයිතිය රචකයා සතු සේම රසවිදින්නාටද අයිතිවිය යුතුය......
එහෙම හිතන 
මං 
හ්ම් එරන්දී.....

10 comments:

  1. මං දවසක් දැක්කා නිර්වානයේ දොර ඇදපු ගමං වේලිලත් නැ , පින්සල් පාරවල් දෙක තුනකින් ඒක නිරයේ දොරටුව කරානේ

    ReplyDelete
    Replies
    1. එහෙමත් වෙන්න පුළුවන් රසිකයාගේ සිතුවිළි අන්න ඒ වගේ සොඳුරුයි දරුණුයි.. අන්ත දෙකම බලාපොරොතු විය යුතුයි අටම් :)

      Delete
  2. සෑම අති දක්ෂ චිත්‍ර ශිල්පිණියක් පිටුපසම වර්ණාන්ද ස්වාමිපුරුෂයෙක් සිටී කියලා අපේ ලොකු අම්මා කීවෙ නිකන්ද ඈ...!

    ReplyDelete
  3. නිර්මාණයක් කලාට පස්සේ ඒ නිර්මාණය තමන්ට කැමති අයුරකින් විඳීමේ සම්පුර්ණ අයිතිය ඇත්තේ රසිකයාට කියන තැනයි මං ඉන්නේ...මොකද සමහර වෙලාවට එකම දේ බොහොම වෙනස් විදි වලින් මිනිස්සු දකින්නේ, ඒවා තමන්ගේ අත්දැකීම් වලට සමපාත කරගෙන...

    හැබැයි පුද්ගලිකව නම් මං රසිකයෙක් විදියට බොහෝ සේ පටලැවිලි ඇති, හිතට නොදැනෙන නිර්මාණ විඳින්නේ නෑ...සාර්ථක නිර්මාණයක් කිසිම දවසක රසිකයාව තුන් තේරවිලි තෝරන කෙනෙක් බවට පත් කරන්නේ නැහැ නගෝ...එහෙම වුනාම වෙන්නේ, මිනිස්සු රස විඳින එක පැත්තක තියල තේරුම හොයනවා...තේරුම හොයනවා කියන්නේ විඳින එක නෙවේ...ලිවිල්ලක් තියෙන්න ඕනේ කෙලින්ම පපුවට පිහියෙන් අනිනවා වගේ දැනෙන තැනක...ඒ දැනීම එක්ක මිනිස්සු ඉබේටම නිර්මාණය තේරුම් අරගෙන විඳිනවා...

    මේ පෙන්ටින්ග් එක නම් බොහොම වර්ණවත් එක බැල්මට මට පෙනුනේ, නොයෙකුත් වර්ණ වල මල් පිපුන ඉවුරක් ඇති ගඟක් අන්තිමේ දිය ඇල්ලක් වෙලා කඩා හැලෙනවා වගේ :)

    ReplyDelete
    Replies
    1. මා දකින සැබැ කලා කරුවා නම්  නිර්මාණ  කරුවානම් නොයෙකුත්  මානයන්ට රසිකයන් රැගෙන යන්න පුලුවන් කෙනෙක් හෙතුව මම රසිකයෙක් පමනයි කවදාවත් කිසිම දෙයක් ලියල නැති හැබැයි බ්ලොග් දහසක රස කියවන ..

      එරන්දි   බ්ලොග් එකට මම ආස එ නිසාම තමා

      එත් මෙ ලියන ස්ටයිල් එක තමා රස විදින රසිකයෙක් පමනක් විදියට මම ආස හෙතුව  ගොඩක් අය ලියන්නෙ කෙලින්ම අන්න බලන්න සද ඔයාගෙ මුනත් සද වගෙ කියල එ උනාට මෙ ස්ටයිල් එකෙ දි  අපි සද පස්සෙ දුවල හති වැටිලත් සුවර් නැතිව තෙරුම හතර පස් විදියකටම තෙරුම් ගන්නව ඔලුව පැලෙන්න කල්පනා කරනව අන්තිමට  බලද්දි ලියල තියන්නෙ හදෙ ඉන්නෙ හාවහෙ කන් දෙක ගැන වත් නෙවෙ හාවහෙ සෙවනැල්ල ගැන :)

      පපුවට පිහියෙන් අනිනව වගෙ නෙන්නම් හැමොම ලියන්නෙ එහෙම ලියන ඇයො සියට අනු නවයයි දසම නවයක් ම ඉන්නෙ එහෙම උනාම මෙලො රහක් නැ නෙ :)

      එහෙම උනාම අපි එක තැන පල් වෙනව වගෙ 
      මට නම් දැනෙන් නෙ

      එකම දෙ දහ විදියකට තෙරුම් ගන්න හිතන්න ඉඩ ලැබෙන එකම අපි වගෙ බ්ලොගර් කෙනෙක් වෙන්න හින දකින කවි ලියන්න බැරි අයට මාරම වටිනව මෙ ස්ටයිල් එකන්
      කවි නොලියන රසික ජනයා වන අපෙත් දැනුම වැඩෙනව මම නම් ආස එකමයි මෙ ස්ටයිල් එකට
      .ඔබට ජය !

      Delete
    2. මුලින්ම කියන්න ඕනේ මං කතා කලේ බුද්ධිකා නගාගේ ලියමන ගැන හිතල නෙවේ...එයා කියල තිබුන කරුණු වල සාරාංශය ගැන හිතල...

      ඔළුව පැලෙන්න කල්පනා කරන්න තියනවා නම් ඒක ප්‍රහේළිකාවක් මිසක් නිර්මාණයක් වෙන්නේ නැහැ...

      නමුත් සමහර නිර්මාණ වල සැබෑ සැඟවුන අරුතක් තියෙද්දී, ඊට වඩා වෙනස්ම අදහසක් රසිකයා වින්දනය කරන්න පුළුවන් බොහොම රසට සහ පහසුවෙන්...ඒ වගේම ඒක බොහොම දරුණුවට හිතට දැනෙන්නත් පුළුවන්...හැබැයි ලියපු කෙනා අදහස් කලාට වඩා සම්පුර්නයෙන්ම වෙනස් අදහසකින්...අන්න ඒ දේ තමයි මං පපුවට දැනෙන නිර්මාණයක් කියල අදහස් කලේ...

      අනිත් අතට නිර්මාණ කරුවෙක් පටලා ගන්න තැන තමයි යටි අරුත මතු කිරීමේදී හෝ අරුත් සැඟවීමේදී නිවැරදි උපමා උපමේය භාවිතා කිරීම වෙනුවට, නොගැලපෙන වචන එකතු කරමින් තේරුම පටලන්නට උත්සාහ කරන එක...ඒ දේ තමයි තුන් තේරවිලි කියල මං අදහස් කලේ...එතකොට කියවන්නා අන්දමන්ද වෙලා තේරුම හොයනවා මිසක් නිර්මාණය රස වින්දනයක් සිදු වෙන්නේ නැහැ...තේරුම හොයන ඒකයි රස වින්දනයයි කියන්නේ අන්ත දෙකක්...ගුණයෙන් වැඩි නිර්මාණයක් කියවන්නා විසින් තේරුම ඉබේටම ගලපගන්නවා...හිත හිත ඉන්නේ නැහැ...ඒ දේ රචකයා අදහස් කල දේට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්...ප්‍රේමකීර්ති මහත්තය ලියූ බොහොමයක් ගීත වල ඒ ලක්ෂණය තියනවා...

      දැන් ඉන්න නිර්මාණ කරුවොන්ගෙන් දැනෙන්න ලියන කවි/නිසඳැස් අය ඉන්නේ බොහොම ටිකයි...දැනෙන්න ලිවිම, නොතේරෙන්න ලිවිම සහ ඩිරෙක්ට්ලී අදහස මතු වෙන්න ලියනවා කියන්නේ තුන් විදියක්...ඔබ කියපු සියයට අනුනවයම ඉන්නේ ඩිරෙක්ට් අදහසක් කියවන කෙනාට ගෙනෙන කොටසේ...ඔය මුහුණු පොතේ බහුතරයක් නවක නිර්මාණකරුවෝ ඉන්නේ එතැන...ඒ නිර්මාණ වල ලොකු රසක් නැහැ...පපුවට පිහියෙන් අනින්න ලියවෙනවා කියන දෙයින් මං අදහස් කලේ අර ටිම්රාන් කීර්ති සහෝදරයා තැනක ප්‍රකාශ කරලා තිබුන වගේ, හිත ඇතුල සසල කරන්න, කළඹවන්න පුළුවන් නිර්මාන වලට...හිරිගඩු පිපෙන නිර්මාණ වලට...එහෙම ලියන අය නම් වශයෙන් කියන්න තරම් ටික දෙනයි ඉන්නේ...අනිත් හැමෝම ඒ ගමන සොයා ගෙන යන අය...

      ඔබෙයි මගෙයි රස වින්දනය බොහොම වෙනස් වෙන්න පුළුවන්...ඒක එකිනෙකාට අනන්‍ය වුනු දෙයක්...

      මං අවුරුදු 28 ක් වගේ තිස්සේම කවි/නිසඳැස් නිර්මාණ කරලා සහ අන් අයගේ නිර්මාණ රස විඳලා, සහ මිනිස්සු නිර්මාණ රස විඳින දිහාවේ බලාගෙන ඉඳලා ලැබුන අත්දැකීම් වලින් තමයි මං උඩ සටහන ලිව්වේ...හැබැයි ඒ මගේ පුද්ගලික අදහස...

      ජය වේවා !!!

      Delete
  4. අප්පට සිරි ඇත්තටම ඔයා මාරයි  මම මෙ වනතුරුම ඔය දෙකම හොදටම ටපලවගන හිටියෙ එත් මම ටිකක් විතර අවුල් උනා උඩ වලව ජලාසයෙ පොටො එක ට වගෙම
    සිගිරි වතුර මලෙ පොටො එක නිසා මම වෙන මානයකට ගියා කොහොමත් තව දිගටම එ ස්ටයිල් එකටම ලියන්න එරන්දි ආන්ටි

     මෙක තමා නියම  ස්ටයිල් එක මෙකට මම කියන්නෙ  "කොහෙද යන්නෙ මල්ලෙ පොල් ස්ටයිල් " කියල හෙතුව ඔයා අපි එක්ක ගිහින් අත අරින තැන වෙනස් තැනක් එතන් ඉදන් පට්ට අමාරුවෙන් නැගිටල පාර හොයන් හරි තැනට එන්න ඔන නියම රස විදිම සමග නියම කික් එකක් තියන්නෙ එතන නෙ

    හැමොම ලියන්නෙ "ආ අර තියන්නෙ හද ඔයා ගෙ මුන වගෙ හද වගෙ කියල එහෙම ලිවම කොහෙද ගතියක් මෙහෙම ලිවම  අපි වත්ත වටෙ දුවල හිතල හිතල කුඩු වෙන්නම හිතලත් සියට පනහක් තෙරුම් ගන්නෙ එත් එකෙන් ලැබෙන රසය අර කෙලින්ම හද ගැන ලියන කවියෙන් හරි බ්ලොග් පොස්ට් එකෙන් හරි මොකෙන් වත් ගන්න බැ :) මට නම්

    එකයි මම ආස එරන්දි ස්ටයිල් එකට
    Keep it up aunty
    මම වැඩිය කොමන්ට් නොකලත්
    (සමහර වෙලාවට කොමන්ට්  කරල ඩිලිට් කලෙ තෙරුම ටැපලුන හින්ද ;) ඇත්තටම )
    දිටටම ලියන්න
    *කොහෙද යන්නෙ මල්ලෙ පොල් ස්ටයිල් එකට ප්ලිස්
    මම රසික ජනයෙක් ඔබට ජය

    ReplyDelete
  5. හැමදාම වගේ දෙපාරක් විතර කියෝල තේරුන් ගත්ත.. අමුතුම ලස්සන වචන ටිකක් !!!

    ReplyDelete
  6. නිර්මාණයක් කළාට පස්සෙ ඒක නිර්මාපකයාට අයිති නෑ.සහෘදයාට අයිතිය තියෙනවා තමන්ගෙ විදියට ඒක නිර්වචනය කරන්න..

    ReplyDelete