Tuesday, February 13, 2018

අපේ වැලන්ටයින්

සත්තයි...
හිතුනු වාර අනන්තයි 
අනේ අපිටත් 
දවසක් ම නැතත්
විනාඩි දෙක තුනක් 
තිබුණා නම් 
අපි අපිම වෙනුවෙන් 
පොඩි එකී 
පනිනකොට මැද්දට.....

යමුද රවුමක් 
හලලා පුන්චිත්තිව 
බොරු මොකට ද 
සත්තයි 
අපි කතා උනා 
දෙතුන් පාරක් 

අපිට හරි හිරිහැර 
හුස්මක් 
ලගින් ඉන්නට නැ ඉඩක් 
හරි ඉරිසියා කාරියක් 

ඒත් 
නුඹ නොවුන්නා නම් 
අපිටත් තිබුණා 
ඉම්පෝර්ට් කරන්නට 
වැලන්ටයින් දවසක්
එහෙම 
හිතන 
අම්මා 
මං 
එරන්දී 

Thursday, January 25, 2018

අපේ දවස ළු


World Spouse Day

අළුත් අවුරුද්දක උදාවුණු 26 වන දවස අද.
ටිකක් ඉන්න අද ඔබ ට “එයා” එක්ක කතා කරන්නට වෙලාවක් ලැබුනා..?
උදේ ටිකක් කාර්‍යබහුලයි නේ? ඇත්ත මගේ ගෙදර ත් එහෙමයි. එතකොට හවස ට... ඇත්ත කොහොම කතා කරන්න ද හවසට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ සමහර විට ඔෆිස් එකෙන් ගෙදර උස්සගෙන ආපු වැඩ ඔය ටික ඉවර වෙනකොට කතා කරන්න වෙන්නේ හෙට තියෙන දරුවන්ගේ පන්ති ගැන, ගේන්න ඕන අඩුපාඩු ගැන නේ ද..?
මෙහෙම ලියන්න හිතුනේ ;
අද දවස ගැන හොයන කොට මට මෙන්න මේ දවස ගැන හෝඩුවාවක් ලැබුනා නිසා.
World Spouse Day. මේ ගැන එක එක විදිහේ වාර්තා අන්තර්ජාලයේ තියෙනවා. ඒ දිනය නම් කරපු කෙනෙක් සඳහන් වෙන්නේ ත් නැ. ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා සුබ පතන දිනයක් ලෙසත්  තව තැනක ආරක්ෂක අංශයේ නියුතු “එයා” වෙනුවෙන් නම් කළ දිනයක් සහ නිවාඩු දිනයක් ලෙසත් තෑගි හුවමාරු කරගැනිමකට එහා ගිය  එකිනෙකා වෙනුවෙන් කාලය වෙන්කරන දවසක් ලෙස එක තැනක සඳහන් වෙලා තිබුණා.
ලෝකයා වෙළඳපොල ඉලක්ක කරගනිමින් විශේෂ දින නිර්මාණය කරන නමුත් විවිධ සැමරීම් වලට මගේ කාලසටහනේ ඉඩක් ඇත්තෙම නැ.. මොකද ගතකරණ හැම දවසක් ම මට බිසී....
අනේ නැ  විශේෂ නිසා.
ඉතිං දරුවෝ පාසැලට පිටත් කරලා තේ කෝප්පයක් එක්ක අපි පත්තර විස්තර - රට තොට විස්තර - දේශපාලනය (ඕවා නම් මට ග්‍රීක්),
ක්‍රිකට් (අනේ මං නොදන්නා චෙස්)
අළුත් මත වාද, ඕපාදුප, පොඩි ඒකිගේ කෝලම් - (ආයේ ඒකට අපි දෙන්නාම සූරයෝ )
මගේ බහුශ්‍රැතකම් (ඔව් ඉතිං එයා විතරයි ඒ වා අහගෙන ඉන්නේ) රොකට් වේගෙන් දියුණු වෙන ක්‍රම (හරි ඉතිං ඒවත් මගේ වැදී බණ)
එයාගේ බණ විග්‍රහ (පුදුමයි ඕවා අහගෙන ඉදලාවත් රහත් උනේ නැ තාම)
ඔය ආදී නානාප්‍රකාර සාකච්චා එක්ක මෙලෝ රහක් නැති මගේ තේ කෝප්පයට එයාගෙන් ලැබෙන්නේ ඉහල අගය කිරීමක්. (මේ ක්‍රමේටම තමයි ලුණු නැති කෑම උනත් මං රහට කන්න දෙන්නේ)
ඉතිං හැම දවසක් ම මට විශේෂ මතක සැමරුමක්..
ඉතිං ඔබට ?
එහෙම අහන
මං

එරන්දී 😊   

Thursday, January 11, 2018

වෛරය.........

අපිට පුළුවන් ද ටිකක් කතා කරන්න..?
නැ විශේෂ දෙයක්මත් නෙවයි එත් කතා කලොත් ඔබෙත්-මගෙත් ගොඩක් රිදීම් වලට සුවයක් දැනේවි කියලා හිතෙන දෙයක්.....
මට කියන්න ඔබ මේ යෙදුම ජිවිතේ එක් වතාවක් හරි කියලා තියෙනවා ද...?
"I HATE .............." මම වෛර කරනවා .............."
මේ ළග දී දවසක මේ වචනය පිට උනා මගේ චූටි දෝණිගෙන්.... ඇත්තටම මම ටිකක් කලබල උනා.... ඒ එයාගේ තාත්තාත් මමත් අපේ වාග් මාලාවට කිසිසේත් එක් කර නොගත් වචනයක් නිසා.
ආගන්තුක වචනයක් නිසාමත් නෙවෙයි ඒ වචනයෙන් ප්‍රකාශවන හැඟීම දරුවා දැන සිටිනවා ද කියන කාරණාව මට ගැටලුවක් උනා.
මා හොඳින් පුරුදුව සිටින වා ඇය ඉදිරියේ කැරපොත්තකු එහෙමත් නැතිනම් ඇය ත් ඔහුත් අනපේක්ෂිත මොහොතක මා වෙතට විසිකරන රබර් සතකු හෝ දොර මුල්ලක සැඟව සිට කඩා පැනීමක දී හැර කලබල උනත් එය නොපෙන්වා සිටීමට... ඔව් හරියටම ඔබ වගේ :) :)
ඉතිං ඇය කිව්වේ මෙන්න මේ වාක්‍ය
"මම වෛර කරනවා මේ වතුර එකට" - අතෙහි වතුර විදුරු ව පෙන්වමින්
:) :) ඔව් කිසි ගැලපීමක් නොවුණු නිසාත් මගේ රහස් පරීක්ෂක මොළයට එකවර විවිධ සංඥා පහල වීම නිසාත් මං ඇහුවා
"ඇයි පුතේ වතුරට වෛර කරන්නේ"
"නැ මේක නෙක්ටෝ එකක් උනා නම්"....... (හරි ඉතිං දැන් ඔය ආර්ටිෆිෂල් බිම කියලා කැ ගහන්න එපා...) ඒ පාර මම නොදන්නවා වගේ ඇහුවා (හරි ඉතිං මං දන්නවාට වඩා නොදන්නා දේ ගොඩයි තමයි .),
පුතේ ඔය වෛරය කියන වචනෙන් මොකද්ද අදහස් වෙන්නේ කියලා...

උගුර ටිකක් පාදලා කියනවා "කැමති නැ" කියන එකනේ.....

හ්ම්...............

එහෙම කොහොම ද කතාව නවත්තන්නේ....?
මං ඇහුවා කොහෙන් ද පුතේ ඔය වචනේ හොයාගත්තේ...? (ඔව් ඉතිං ඕපාදුප හොයන්න වෙනවා මේ වගේ වැදගත් වැඩ වලදී )
"ආහ්හ්හ් මගේ යාලුවෙක් කිව්වා" "මං වෛර කරනවා මගේ ජිවිතේට" කියලා... ඔහ්......

මං දෝණිට කියලා දුන්නා ඔය කියන " වෛරයේ" හී තේරුම ගැන..... දෝණි පුදුම වෙලා ඇහුවා
"ඇයි අම්මේ එයා එහෙම කියන්නේ... එක හරි බය හිතෙන දෙයක් නේ "
මං දෝණිට කිව්වා යාළුවාගෙන් හෙමින් සැරේ ඒ ඇයි කියලා අහගෙන එන්න........

ආයේ මොන හෙමින් ද පහුව දා ගෙදර ආවේ රොකට් එකක් වගේ. දොර ගාව දීම කිව්වේ

"එයා ගේ අම්මා එහෙම කියලා හැමදාම අඬන වා කියලා"

මා දැන සිටින පරිදි ඇය ඉතා සුරූපී උගත් ධනවත් කාන්තාවක්...... ඒ සියළු සාධක පරදා ඇයට කළකිරෙන්නට හේතුවක් තිබුණා... හේතූ තිබිය හැකි මුත් කවරෙකුටත් ඔබව නොවටිනා මුත් ඔබට ඔබ වටිනා බව, මා ඇයට කී විට ඇය පැවසුවේ "ඔව් ඒක ඇත්ත ඒත් ඔහු මාව ප්‍රතික්ෂේප කරනවා....."
මා ඇයට පැහැදිලි කළා ඔහු ඔබව ප්‍රතික්ෂේප කලත් දරුවා ඔබව අපේක්ෂා කරන බව...
ඇය ඔහුගෙන් ඇත් ව ඔහු නිසා රිදුනු සිතින් ඇති කරගත් වෛරය වෙනුවට සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්නට දරුවා නම් අපේක්ෂාවට ඉඩ දුන්නා.......


රිදවන්නට පෙර සිතන්න ඔබට හැකි ද වෛර කරන්නකු බිහි කිරීම වගේම කෙනෙකු මානසිකව හිංසාවට ලක්කිරීමේ වගකීම දරන්න......??

මට බැරි බව වගකීමෙන් සිතන
මම
එරන්දී
ඔබ......

Wednesday, January 3, 2018

ළමා මනස සහ වැඩිහිටි අපි

දරුවෙක් ජිවිතේට එකතුවෙන දවස කියන්නේ දෙමව්පියන්ට ජිවිතේ අමතක නොවන දවසක් බව මම දැනගත්තේ මං එරන්දී ගේ අම්මා කියන මේ කතාව හින්දා .
 ගැහැණු දරුවෝ දෙදෙනෙකු ගේම  අම්මා නිසා තුන් වෙනියා පුතෙක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන නිලම නිල් පාටින් ඇඳුම් මහපු බවත් නම විදිහට "ධනුෂ්ක එරන්ද" කියලා කල් ඇතිවම සුජානම් වෙලා ස්කෑන් කරන්නෙත් නැතුව මාරම කන්ෆිඩෙන්ට් තියාගෙන ඉස්පිරිතාලේ ගිහින් බැලින්නම් බේබි ටවල් එක දලා ගිහින්, පස්සේ තාත්තාට කතා කරලා කිව්වාම අනේ ඉතිං අවුරුදු නිසා වහලා තිබ්බ කඩයක් මුදලාලි මහත්තයාට කනිපින්දම් කියලා අරවාගෙන ගෙනත් දුන්නාලු. තාත්තා කලබලේට ගෙනත් තියෙන්නේ රෝසම රෝස පාට තුවායක් ලු අම්මා ඉතිං ............... හිතාගන්න පුළුවන්නේ ඕන්න ඔය වගේ කතා අපි තුන්දෙනා ගැනම ඒ අය කියනවා අහන් ඉද්දි දරුවෝ කියන්නේ දෙමව්පියන්ට මොනතරම් සම්පතක් ද කියන එක මං වටහාගන්න පටන්ගත්ත.
මං එයාගේ හස්බන්ඩ් ට සහෝදර සහෝදරියෝ කවුරුත් නැ... ඉතිං ඒ අම්මාට එයාගේ හැඟීම් මොනතරම් ප්‍රබල ද කියනවා නම් අද වෙනකොට අම්මා මං එයාගේ හස්බන්ඩ් කුස පිළිසිඳ ගත්තු දවසේ ඉදලා සියළු විස්තර මං ඒ අම්මාගේ ළඟ ඉදලා බලන් හිටිය ගානට කියන්න දන්නවා (අම්මා බ්ලොගය නොකියවන තාක් මගේ ආරක්ෂාව තහවුරු කළ හැක)
ඔන්න ඔය වගේ මං එයාගේ බබා උපන් දවසේ අමතක නොවෙන සිද්ධිය ක් තියෙනවා ඒ තමයි දෝණි ලැබුනේ සීතල අදික මාසයක සිතල පලාතක. ඉතිං ඇය පැය ගණනකට බාර උනේ ළදරු ඒකකයට. මාව කාමරයට ගේන අතරේ අපි වෙනුවෙන් ඒ මහ රැ ඇවිත් හිටි අපේ ආදරණියයෙකු රථ ගාලට යනතුරු මං එයාගේ හස්බන්ඩ් ගිහින් තිබුණා. ඔය අතරේ පොඩි එකෙක් ගිරිය යටින් අඬනවා ඇහෙන්න ගත්තා, මගේ අම්මා කිව්වා පුතේ මේ නම් අපේ පැටියා කියලා හැරෙන්න ලැබුනේ නැ නර්ස් නෝනා කෙනෙක් අනේ අනේ මෙයාව නම් අපිට තියාගන්න බැ අම්මා නැතුව මෙයා ඉන්නේ නැ කියලා මට දීල ගියා. එත් එක්කම වගේ මං එයාගේ හස්බන්ඩ් හතිහලාගෙන දුවගෙන ආවා , බය උනු අපේ අම්මා ඇයි පුතේ මේ කියද්දී අම්මේ දෝණි ඇඩුවා නේද අහනකොටත් දෝණි යසට මගේ තුරුලේ. අම්මාගේ ඊළඟ ප්‍රශ්නේ උනේ පුතා කොහොම ද දන්නේ..? අම්මේ පාකින් ලොට් එකට ඇහිලා මං දුවගෙන ආවා..... ඔහු කීවාට අපිටත් පිළිගන්න අමාරු උනා. ඊළගට දරුවට නම දාන්න හදන වෙලාවේ එයාට ඕන කලේ නම "මේඝගර්ජනා" කියලා දන්නා (අර සද්දේ නිසා) :) :) :) දෙපාර්ශවයේම අම්මලාගේ දැඩි විරෝධය මත ඔහුගේ ආසාව දිය උනා. 
කෙසේ වෙතත් දෝණි ලොකු වෙන්න ලොකු වෙන්න ටිකක් අපිටත් ගර්ජනා එන්න ගත්තා. 

තරහා ගත්තොත් පොඩි ඩයිනෝසර් පැටියෙක් වගේ දත් විලිස්සාගෙන ඩිමාන්ඩ් කළා. වැඩේ හරියන්නේ නැති බව දැනෙන කොට අපි "අනේ අපි දුප්පත් , අපිට සල්ලි නැ නේ" කියලා ඇඟ බේරගන්න පුරුදු උනා. දවසක් ඉස්කෝලේ වැඩකට සල්ලි ගේන්න කීවාම දෝණි නැගිටලා "අපි දුප්පත් , මං හිතන්නේ නැ අම්මිට්යි තාත්තිටයි ඔය සල්ලි දෙන්න පුළුවන් වෙවී කියලා" කියලා තිබුණා. දෝණිට ඒ බව තේරෙනවා නේ කියලා අපිත් සතුටු උනා......
කාලය ගෙවිලා ගියා දැන් දෝණිට 9 සම්පුර්ණයි... ජනේරුවට එයාගේ දෙවෙනි වාරේ. ඉස්කෝලේ නීතියට අනුව සුකුරුත්තම් බඩු තහනම්. ඉතිං කුඩා වෙන ඇඳුම් පවා පිරිසිඳු කරලා සික්බේ එකට යවන්න ඕනේ. දරුවෙක් ලෙඩ උනාම අමතර ඇඳුමක් හදිස්සියට ඕනේ උනාම අර සංචිතයෙනුයි ඇදුම් නිකුත් කරන්නේ. උපන්දිනයකට බටර් කේක් කැල්ලක් වත් යවන්න තහනම්. ඉතිං ඒ නිසාම අපිත් සැප්තැම්බර් මාසේ අළුත් බෑග් ඇතුළු උපකරණ අරං දුන් නිසා ආයෙමත් පොත් බෑග් ගැන උනන්දු උනේ නැ. එත් මම දැක්කා තුනේ පංතියේ බෑග් එකට දෝණි පොත් දාගන්නවා. 
හොයලා බැලුවාම දෝණි කීවා "නැ මේ බෑග් එක දැන් පංතියේ යාළුවන්ට මතක නැනේ" මං ඇහුවා පුතාට අළුත් බෑග් එකක් ඕනේ ද..? "ඔව්, මාත් ආසයි යාලුවෝ එහෙම ගේනවා... එයාලගේ දෙමව්පියෝ මගේ අම්මාටයි තාත්තාටයි වඩා පෝසත් නේ...." 
ඉතිං මම ටිකක් කල්පනා කළා...
දෝණිව ලඟට අරගෙන පැහැදිලි කළා... පුතේ දැන් අම්මියි තාත්ති පෝසත්... අපි හොඳින් ඉගෙනගෙන , මහන්සි වෙලා වැඩ කරලා සල්ලි එකතු කළා. පුතාට ඕනේ නම් මං බෑග් එකක් අරං දෙන්නම් එත් පුතාගේ ඉස්ලෙකෝන්ම නේ ද උගන්වන්නේ නාස්ති නොකරන්න... සරල වෙන්න කියලා...? 
එයාගේ උත්තරේ උනේ, "ඔව් අම්මි, අළුත් ඇඳුමක් ඇදපු නැති බබාලා කොච්චර ඉන්නවා ද "..... මේ ඔබෙත් අත්දැකීම වෙන්න ඇති.....
දරුවොත් එක්ක වැඩ කරන්න ඕනේ හදවත වගේම බුද්ධියත් මෙහෙයවලා. ඒකට උපාධියකට වඩා උවමනා වෙන්නේ "උපාය"
එහෙම හිතන 
මං 
එරන්දී :)

Saturday, December 30, 2017

Happy 2018

මම මේ කල්පනා කලේ, වැඩිහිටියෙක් හැටියට ඇත්තටම මේ තරුණ දරුවන්ට අපි ආදර්ශයක් වෙන්නට උවමනායි. 

දැන් කාලේ උනත් අපේ කාලේ උනත් කියලා අවංකවම මට ලොකු වෙනසක් නොවුනාට අවුලකට තියෙන්නේ ඒ කාලේ මං තරුණයි, දැන් මං ඒ වයසේ නැ.... (හරි ඉතිං වයසයි තමයි, හිතේ අමාරුවට වෙන විදිහකට කියලා බැලුවා එච්චරයි). 
අන්න ඒ වයසේ ගැප් එකත් එක්ක ලොකු ලොකු උපදෙස් ටිකක් දෙන්න හිතුනා මටත්.... (ඔය කිව්වාට දෙන්න තරම් උපදෙසක් මට නැ තමයි. හැබැයි මට වුනු අකරතැබ්බ නම් ඉතිං ඕනෑ තරම්. මේ ඉන් එකක්)
ඔන්න ඉතිං අපි විවාහපත් වූ අලුත. 
මං මාර රූමත් , සුන්දර , උගත් බුද්ධි+මත් (ඔව් ඉතිං මගේ නම බුද්ධිකා , ඉතිං හිනා වෙන්ට හහ් ) කෙනෙක්. ආයේ මට වඩා කිසිම කෙනෙක් කිසිම දෙයක් දැනගෙන හිටියේ නැ. ඉතිං ඔන්න ඔය විදිහට කාලය ගෙවීගෙන ගෙවීගෙන ගියා. 
දවසක් අකුණු ගහමින් මහ වැස්සක් වහින්න ගත්තා. මට ඉහෙන් බහින රෝගයක් නොතිබුනාට දරු පැටියත් නොනවත්වා අඬන නිසා මං ඉතිං ඔහුට දැනුම් දුන්න මට ධාරාණි පාත ඔහ් නැ ඉවසගන්න බැරි හිසේ කැක්කුමයි වහාම ගෙදර එන්න කියලා.... (කියන කොටම ඇහුවේ "අනේ ඔයාට ඒ කියන්නේ ඔළුවකුත් තියෙනවා නේ ද " කියලා).
කොහොමින් කොහොම හරි පැය දෙක තුනකට පස්සේ හරි හදිස්සියෙන් වේගෙන් (ගේ ගාවට ඇවිත් රේස් කරලා වාහනෙන් බැහැලා නෙවෙයි පැනලා ) ආවා. 
එතකොට ඉතිං මගේ ඉවසීමේ සීමාව පැනලා (ඇත්තටම කිව්වොත් මට එහෙම සීමාවක් තිබුනෙම නැ ඒ කාලේ).
ඉතිං බොහොම හැදිච්ච නිවිච්ච මම ගත්තා මල්ලක් දැන් පුරවනවා අතට අහුවෙන ඇඳුම් , ඔහු කිසිම හැලහොල්මනක් නැතුව බලාගෙන ඉන්නවා. අහ්හ් ඔව් එපා තියා ඇයි වත් අහන්නේ නැ.... දැන් රෙදි දාගෙනත් ඉවරයි, මං කිව්වා දෙන්න මගේ ID එක 
ආහ්හ් ඔව් නේ එක මගේ ලගනේ  අමතක උනා කියලා ඊඊඊඊ ඔව් එකත් දුන්නා.....
දැන් මට යන්නම වෙන පාටයි... තවත් කල්පනා කර කර මං හොයනවා හොයනවා.... හොයනවා මොකද්ද ? කුඩයක් 
ආහ්හ්හ් වැස්ස නේ මෙන්න කුඩේ දැන් මොන දෙයියට කියන්න ද..? (මම කොහේ යන්න ද, මහ ගෙදර ගිය ත් අම්මා, මා දුටු සැනින් මා ඇදගෙන විත් ඔහුට දෙන්නේ මා ඉතා ගුණයහපත් බව ඇයට වඩා දන්නා කිසිවෙකුත් නැති බැවිනි.) කමින් ත්‍රෙඩ් ඊස් නොට් ගුඩ් බව වැටහුණු මම ක්ෂණිකව ක්‍රියාත්මක උනා. 
හහ්..... මාව ගෙදර යවන්න නේද...?? මම යයි හිතුවා මදි..... මං ඒ සැනින් ඇදුම් ටිකත් හලලා හෙමින් සීරුවේ නැවතුනා....
ඉතිං ඔන්න ඔහොමයි මගේ පවුල රැකුණේ. මේ අවුරුද්ද අවසාන දවසේ වැඩිහිටියකු ලෙසින් අළුතින් විවාහපත් ඔබටත් මේ වගේ අවස්තාවක් එළඹුනොත් මුහුණ දෙන විදිහ දැනුවත් කර තිබීම මගේ පරම යුතුකම හැටියට හිතුන නිසා මේ ඉටුකළේ ඒ යුතුකම.

එහෙම නම් ලබන්නාවූ 2018 වසර විවාහපත් නොපත් ඔබ සියළු දෙනාට බුද්ධිමත් මං එරන්දීගේ සුබ පැතුම්..!   


Tuesday, November 28, 2017

ඔබට කියමි

Saatchi Art Artist: Loui Jover; Ink 2015 Drawing "long way away...

නැවතිලා
මං උන්නු
මං කඩේක
කෙකටියා
යායට
පැළ වෙලා.....
ඒ මතින්  
සීරුවට 
පැණි කුරුල්ලෝ
නුඹ
තාලයට 
අඩි ආයේ 
තියනවා 
නිදිවරු මං
නැතත්
සේපාලිකා
නුඹේ
තනියට ඉන්නවා
නුඹේ නමින් ගිළිහෙන 
බිම වැටී 
පෙති බිඳුණු 
සේපාලිකා 
එකින් එක 
මම ගණිනවා 
හමු උනත් 
ආයෙමත් 
උණුහුම්ම 
ඔබේ 
හිරු එලියට 
පිටුපා 
කණමැදිරියකු 
වී 
ඉතිං 
නික්මෙනවා  
මං
එරන්දී 
ප.ලි. මෙය ජිවිතේ යාත්‍රාව ලියු හරි අපුරූ කවියක් නිසාම ලියැවුණු සිතුවිල්ලක.

Friday, October 6, 2017

Happy 41

 
 
                             
                                                                
උඹ තමයි මිනිහා
සවන් දෙන්නියකටත්
සවන් දෙන....
කට්ට කළු
උස මහත
ඝන ඇහි දාර යට
බොර පාට ඇස් ඇති
දැලි අඟුරු තොල් අස්සේ
මුතු පාට දත් ඇති
පුළුල් උරහිස් අතරේ
රතු පාට පණ  විදින
හෘද මාන්ෂලය ඇති
හීන් කඳුළකින් තැවී
එය ද උගුලවා දිය හැකි....
සියුම් තුඩකින්
ම’කුස දැදුරු වූ දා 

සිහිසුන්ව ඇද වැටුණු....... උඹ තමයි ඒ මිනිහා
නිවුඩු හාල් බතට
පොල් සම්බෝලයි ඇඹුල් තියලයි
කෑවාට 
නොවරදවාම 
මට සිරියල් අරන්දුන්න.....
කවි ලියන එකත් 
ඇරියස් එකක් කිව්වාට 
ඇති තරම් කඩදාසි 
Parker pens  අරන්දීපු
යකෙකුගේ පෞර්ෂය තිබුනාට, 
යක්ෂණියක් වගේ කඩා පැන්නාම  
ඔළුව අතගාල පපුවට තුරුළු කරගත්තු.... උඹ තමයි ඒ මිනිහා ..........

නුඹ නිසා වාසනාවන්ත මම යි ඒ 
එරන්දී